ලෝකේ වටේ විශේෂ තැන්
අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ගැන අද මං ඔයාලව එක් කරගෙන යනවා... හැබැයි ඇත්තටම නෙවෙයි. ඒ ගැන දැන ගන්න, බලන්නකෝ මේ රූප කථාව...
1. ලෝකයේ උෂ්ණාධිකම ප්‍රදේශය
ඉරානයේ ලූට් කාන්තාරය - 71°C
පෘථීවියේ උෂ්ණාධිකම ස්ථානය ගැන බොහෝ වාද විවාද තිබිණි. සෙල්සියස් අංශක 57.8 ක්වූ ලිබියාවේ එල් අසිසියා ප්‍රදේශය හා සෙල්සියස් අංශක 56.6 ක් වන ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රදේශයේ "මරණයේ නිම්නය" ලෙස හඳුන්වන ප්‍රදේශය පෘථීවිය මත උෂ්ණාධිකතම ස්ථාන ලෙස වාර්තා වී තිබිණි. නමුත් නාසා (NASA) ආයතනයේ සැටලයිට් දත්තයන්ට අනුව ඉරානයේ ලූට් කාන්තාර ප්‍රදේශයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 71 ක් බව වාර්තා වී තිබේ. මෙය පෘථීවි පෘෂ්ඨය මත වාර්තා වූ වැඩිම උෂ්ණත්ව අගය ලෙස පිළිගැනේ. මෙම කාන්තාර ප්‍රදේශය කිලෝමීටර 480 ක් පමණ විහිදෙන අතර මෙහි පවතින අධිකතර උණුසුම නිසා "කරවුණු තිරිඟු යාය" යන අන්වර්ථ නාමයෙන් ද මෙම ප්‍රදේශය හැඳින්වේ.
************************
2. පෘථීවි මධ්‍යයේ සිට උසම මුදුන
ඉක්වදෝරයේ චිම්බොරාසෝ කඳු මුදුන - මුහුදු මට්ටමේ සිට උස : මීටර 6310
ලෝකයේ උසම ස්ථානය වන්නේ එවරස්ට් කඳු මුදුන බව සැමදෙනාම දන්නා කාරණයකි. එහි උච්චතම උස වන්නේ මීටර 8848 කි. එවරස්ට් ගැන ලෝකයේ සියල්ලන්ම පාහේ දැන උන්නත් චිම්බොරාසෝ කඳු මුදුන ගැන නම් දන්නේ ස්වල්ප දෙනෙකි. එවරස්ට් වලට වඩා උසින් මඳක් අඩු වුවත් චිම්බොරාසෝ කඳු මුදුන ද ඉතා උසැති කන්දකි. කෙසේ වුවත් එවරස්ට් කන්ද ද පරදා විශේෂ වාර්තාවකට හිමිකම් කියන්නට මෙම කඳු මුදුන සමත්වෙයි. ඒ පෘථීවි මධ්‍යයේ සිට වැඩිම උසකින් පිහිටි ස්ථානය ලෙසිනි.
පෘථීවිය පරිපූර්ණ ගෝලයක් නොවේ. එය පැතලි ගෝලාභයකි. වඩාත් පැහැදිලි කලහොත් පෘථීවියේ ධ්‍රැව දෙක මඳක් තැලී ගිය ලෙසින් දිස්වන අතර සමකය අවට ප්‍රදේශය මඳක් එළියට නෙරා ආ ස්වභාවයක් පෙන්වයි. මේ නිසා පෘථීවි සමකය ආසන්න ප්‍රදේශයට පෘථීවියේ මධ්‍ය කේන්ද්‍රයේ සිට වැඩිම දුරක් (අරයක්) ඇති අතර සමක රේඛාවට එක් අංශකයක් ඈතින් පිහිටි චිම්බොරාසෝ කඳු මුදුන මේ නිසා පෘථීයි මධ්‍යයේ සිට බැලු විට කිලෝමීටර 6384 ක් උස වන අතර එය එවරස්ට් කන්ද හා පෘථීවි මධ්‍යය අතර ඇති අගයට වඩා කිලෝමීටර 2 ක වැඩි අගයක් ගනී.
************************
3. මනුෂ්‍ය වාසය සහිත, වඩාත් දුරස්ථව පිහිටි කොදෙව් දූපත් පෙළ
ට්‍රයිස්ටන්ඩි කන්හා (ඇමෙරිකාව) - ලඟම මහාද්වීපයේ සිට කිලෝමීටර 3218 ක් ඈතින් පිහිටා ඇත.
දක්ෂිණ අත්ලාන්තික් සාගරයේ පිහිටි මේ දූපත් රැස පෘථීවිය මත මනුෂ්‍යයින් වාසය කරන දූපත් අතරින්, ප්‍රධාන භූමියට ඈතින්ම පිහිටි දූපත් පොකුර ලෙස පිළිගැනේ. මෙම දූපත් ඉතා කුඩා වන අතර මෙහි ප්‍රධාන දූපත තුළ පවා ගුවන් පථයක් නොමැත්තේ එය එතරම් දිගින් අඩු නිසායි. මෙහි ජනගහනය යාන්තම් මිනිසුන් 300 කට පමණ සීමා වේ. 19 වන ශත වර්ශයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ මේ දූපත් පෙළ තවමත් භාවිතා කරන්නේ බ්‍රිතාන්‍ය තැපැල් සංකේතයි. දියුණු තාක්ෂණයේ මහිමයෙන් මේ දූපත් වැසියන් අන්තර්ජාලය හරහා ලෝකය සමග ගනුදෙනු කරන නමුත් මේ දූපත් වෙත බඩුභාණ්ඩ ලඟා වීමට ඉතා දීර්ඝ කාලයක් ගතවේ.
************************
4. ලෝකයේ උසම ජල දහර (දිය ඇල්ල)
වෙනිසියුලාවේ ඒන්ජල් දිය ඇල්ල - උස මීටර 984 යි.
මෙය ලෝකයේ වැඩිම උසක සිට කඩා හැලෙන ජල ධාරාවයි. මෙහි සම්පූර්ණ උස අඩි 3260 ක් වන අතර අඩි 2647 ක උසක් මෙය අඛණ්ඩව, සෘජුව හා කිසිදු බාධාවකින් තොරව කඩා හැලේ. මේ දිය ඇල්ල වෙනිසියුලාවේ කැරෝනි ගංගාවේ අතු ගංගාවකින් හට ගනී. පැතලි මුදුනක් ඇති කඳු ප්‍රදේශයක සිට අධික බෑවුමකට මෙම දිය පහර කඩා හැලීම නිසා ඒන්ජල් දිය ඇල්ල නිර්මාණය වී තිබේ.
************************
5. පෘථීවිය මත ඇති ශීතාධිකම මනුෂ්‍ය වාසය
රුසියාවේ ඔයිමෝකෝන් ප්‍රදේශය - උෂ්ණත්වය: -71.2 °C
රුසියාවේ සකා සමූහාණ්ඩුවට අයත් මෙම ප්‍රදේශය ඉන්ඩිගිකා ගංගාව ආශ්‍රිතව පිහිටා ඇත. මෙම ගම්මානයේ ජනගහනය 800 ක් පමණ වේ. 1926 වර්ෂයේ ජනවාරි 26 වන දින මෙම ප්‍රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 71.2 කි. ස්ථීර මනුෂ්‍ය වාසස්ථානයකින් වාර්තා වූ අඩුම උෂ්ණත්ව අගය මෙය වේ. කෙසේ වෙතත් පෘථීවියේ අධිකම ශීතල ඇති ප්‍රදේශය ද අයත් වන්නේ රුසියාවටයි. ඒ ඇන්ටාක්ටිකාවේ රුසියානු කලාපයේ ඇති වොස්ටොක් නම් ස්ථානයයි. එහි වාර්තා වී ඇති අවම උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක -89.5 කි.
************************
6. ලෝකයේ වියළිම ස්ථානය
ඇන්ටාර්ක්ටිකාවේ වියළි මිටියාවත
ඇන්ටාර්ටිකා මහාද්වීපයේ එක් අභ්‍යන්තර ප්‍රදේශයක් වියළි මිටියාවත ලෙසින් නම් කර තිබේ. මෙම ප්‍රදේශයට වසර මිලියන දෙකකින් පමණ වර්ෂාවක් ලැබී නැති බව පැවසේ. ග්‍රීෂ්මයේදී ඇන්ටාක්ටිකාව තුළ ගලා යන ජල ධාරා නිසා මේ නිම්නයේ තැන තැන කුඩා ජලාශ හට ගන්නා නමුත් ජලය, අයිස් හෝ හිම යන කිසිදු ආකාරයක තෙතමනයක් මෙහි දක්නට නොලැබේ. මෙම වියළි මිටියාවතේ ශුෂ්ක ස්වභාවයට හේතුවී ඇත්තේ පැයට කිලෝමීටර 320 ක් තරම් වේගයකින් හමා යන දරුණු සුලං ප්‍රවාහයයි. මේ නිසා මෙම ප්‍රදේශයේ තෙතමනය වාෂ්ප වීම සිදුවේ. ඇන්ටාර්ක්ටිකාව තුළ ඇති අයිස් රහිත එකම භූමිභාගය මෙයයි. චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාර ප්‍රදේශය ද ඉතා වියළි වන අතර මෙම ස්ථාන දෙකෙන් වඩාත් වියළි ස්ථානය කුමක් දැයි තීරණය කිරීමට දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවේ.
************************
7. පෘථීවි පෘෂ්ඨයේ පහත්ම ස්ථානය
මරියානා ආගාධය (ඉන්දුනීසියාව හා ජපානය අතර) ගැඹුර : මීටර 10,924 ක් මුහුදු මට්ටමෙන් පහත
මරියානා ආගාධයේ පිහිටි "චැලෙන්ජර් ඩීප්" නමින් හැඳින්වෙන ස්ථානය පෘථීවි පෘෂ්ඨය මත පිහිටි පහත්ම ස්ථානය වන අතර මුහුදේ පිහිටි ගැඹුරුම ස්ථානය ද වේ. මෙය එවරස්ට් කන්දටත් වඩා කිලෝමීටර දෙකක් පමණ වැඩි උසකි. බටහිර පැසිෆික් සාගරයේ පිහිටි මේ ස්ථානයේ ඇති ජල පීඩනය මුහුදු මට්ටමේ ඇති වායු පීඩනය මෙන් දහස් ගුණයකටත් අධික වේ. ජැක්ස් පිකාර්ඩ් සහ දොන් වෝල්ෂ් මරියානා ආගාධය වෙත ගිය පළමු ගවේෂකයන් ලෙස වාර්තා වේ.
************************
8. පෘථීවියේ වැඩිම තෙතමනය සහිත භූමි ප්‍රදේශය
ඉන්දියාවේ චෙරාපුංජි ප්‍රදේශය
ඉන්දියාවේ ඊශාණ දිග ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 10,820 කි. මෙම ප්‍රදේශයට කොලොම්බියා තෙත් බිම් වල මෙන් වසර පුරාම වර්ෂාපතනය නොලැඛෙන නමුත්, නිරිතදිග මෝසමෙන් දැඩි වර්ෂාපතනයක් ලැබේ. 1861 වර්ෂයේ ජූලි මාසය තුළ පමණක් මිලිමීටර 9,296 ක වර්ෂාවක් මේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
************************
9. විශාලතම සිරස් බෑවුම සහිත කන්ද
කැනඩාවේ තෝර් කන්ද
කැනඩාවේ නුනාවුට් හි බැෆින් දූපත් හි පිහිටි තෝර් කන්ද අඩි 4,100 ක සිරස් ප්‍රපාතාකාර බෑවුමක් සහිතයි. තනිකරම ග්‍රැනයිට් පාෂාණයෙන් සැදුම් ලත් මේ කන්ද කැනඩාවේ විශේෂිත වූ සංචාරක ආකර්ශණයක් සහිත ස්ථානයකි. කඳු නගින්නන්ගේ සහ ගවේෂකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් බවට ද මෙය පත්ව තිබේ.
************************
10. පෘථීවියේ උසින් අඩුම ගොඩබිම් ප්‍රදේශය
ජෝර්දානයේ මළ මුහුද - මීටර 422 ක් මුහුදු මට්ටමෙන් පහළ
මළ මුහුදෙහි මතුපිට සහ වෙරළ තීරය මුහුදු මට්ටමට වඩා මීටර 422 ක් පහතින් පිහිටා තිබේ. ජොර්දානය හා ඊශ්‍රායෙලය අතර මායිමේ පිහිටි, මේ මළ මුහුද වටා දිවෙන මාර්ගය ද ලෝකයේ පහතින්ම පිහිටි මහා මාර්ගය ලෙස හැඳින්වේ. සාමාන්‍ය මට්ටමට වඩා දස ගුණයක් ලවණතාවයෙන් වැඩි මෙහි ඒ හේතුව නිසාම කිසිදු ජීවියෙක් වාසය නොකරයි. මළ මුහුද ලෙස මෙයට නම් ලැබී ඇත්තේ ඒ නිසාවෙනි.